PUBLIC

2016 අංක 12 දරණ තොරතුරු පනත ගැන දැනගනිමු (පළමු කොටස)

  ADMIN
  14 July 2017

තොරතුරු දැනගැනීමේ පනත විමසමු
නිමේෂ තිවංකර සෙනෙවිපාල
ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය
 
‘තොරතුරු’ වශයෙන් සැලකෙන්නේ මොනවා ද යන්න පිළිබඳව පවතින සියළු නිර්වචන සම්බන්ධයෙන් සලකා බලන විට ‘තොරතුරු’ යනු ‘කිසියම් දෙයක් පිළිබදව වන කවර ආකාර හෝ ප්‍රශ්නයකට ඇති පිළිතුර’ වශයෙන් හඳුන්වා දීමේ වරදක් නැත. තොරතුරු යන විෂය ඒ තරම් පුළුල් ය. ඒවා දත්ත වශයෙන් හෝ දැනුම වශයෙන් දෙයා’කාර ස්වභාවයක් ගනු ලබන අතර, තොරතුරු වලින් තොරව සමාජයක හෝ වේවා ආයතනයක හෝ වේවා, රටක හෝ වේවා කිසිඳු දෙයකට පැවැත්මක් තිබිය නොහැකිය. රාජ්‍යයක් වශයෙන් ගත්කල තොරතුරුවල වැදගත්කම අති මහත් ය.
 
“තොරතුරු” යන්නට, පහත සඳහන් ඒවායේ භෞතික ස්වරූපය හෝ ස්වභාවය නොසලකා, සටහන්, ලේඛන, සංදේශ, විද්‍යුත් තැපැල්, මත, උපදේශ, මාධ්‍ය නිවේදන, චක්‍රලේඛ, නියම, ලොග් පොත්, ගිවිසුම්, වාර්තා, ප්‍රවෘත්ති පත්‍ර, සාම්පල්, ආදර්ශක, හුවමාරු වන ලිපි, සංදේශ, නීති කෙටුම්පත්, පොත්, පිඹුරු, සිතියම්, චිත්‍ර, රූපසටහන්, රූපමය හෝ ප්‍රස්තාරමය වැඩ හෝ ඡායාරූප,  පරිගණක වාර්තා සහ වෙනත් ලේඛනගත ද්‍රව්‍ය, ඇතුළු යම් ආකාරයකින් ලේඛනගත කරන ද්‍රව්‍ය සහ ඒවායේ යම් පිටපත් ඇතුළත් වේ” (2016 අංක 12 පනත)

පසුගිය කාලය තුළ ‘තොරතුරු’ සම්බන්ධයෙන් අප සමාජය තුළ ද විශාල කතිකාවක් නිර්මාණය වූයේ ය. ඒ තොරතුරු සම්බන්ධව මහජනයා සතු අයිතිවාසිකම් පිළිබදව ය. රාජ්‍ය අංශය සහ මහජනයා අතර තොරතුරු සම්බන්ධයෙන් පවත්නා අයිතිවාසිකම පිළිබදව දිගින් දිගට ම සිදු වූ කතිකාව අවසානයේ දී සාධනීය තැනකට පත් වූයේ එකී අයිතිවාසිකම නීත්‍යනුකූලව තහවුරු කරමින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම සම්බන්ධ පනතක් පාර්ලිමේන්තුවේ දී සම්මත වීමෙනි.
මෙම පනත 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද පනත යනුවෙන් හැදින්වෙයි.
 
තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා රජය අපේක්ෂා කරන්නේ කුමන කරුණක් ද යන්න එම පනතේ පැහැදිලිව දක්වා තිබේ.
“තොරතුරුවලට ප්‍රවේශවීමට ඇති අයිතිවාසිකම සම්බන්ධයෙන් විධිවිධාන සැළසීම සඳහා ද, තොරතුරු වෙත ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කළ හැකි හේතු නිශ්චිතව දැක්වීම සඳහා ද, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම සඳහා ද, තොරතුරු නිලධරයන් පත් කිරීම සඳහා ද; තොරතුරු ලබා ගැනීම සඳහා වන ක්‍රියාපටිපාටිය නිශ්චිතව දැක්වීම සහ ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැළසීම පිණිස ද වූ පනතකි.” (පූර්විකාව, 2016 අංක 12 පනත)

මෙම පනතේ මූලික අභිප්‍රාය වනුයේ රාජ්‍ය අංශයේ විනිවිදභාවය මහජනතාව කෙරෙහි තහවුරු කිරීම ය. නැතහොත් ජනතාවට වගකියනු ලබන රාජ්‍ය අංශයක් ස්ථාපනය කිරීම ය. කාලාන්තරයක් තිස්සේ රාජ්‍ය අංශයේ කටයුතු සම්බන්ධව මහජනතාවට වගවීමේ ලක්ෂණයක් නොපැවති අතර, විශේෂයෙන් මුදල්, සැලසුම්, ජාත්‍යන්තර ගිවිසුම්, ගණුදෙනු, ව්‍යාපෘති ආදි නොයෙක් අංශවලින් ජනතා අභිලාෂයන්ට එරෙහිව ක්‍රියාකාරකම් සිදු කිරීමට රජයන් කටයුතු කළේ, එවන් ප්‍රතිපත්ති හා ක්‍රියාකාරකම් සම්බන්ධ තොරතුරු දැනගැනීමේ ජනතා අයිතිය නීතිය මගින් තහවුරු කර නොතිබූ නිසා ය. මේ නිසා දුෂණ, අක්‍රමිකතා, අවභාවිතා ඉහළ ගිය අතර පසුගිය වසර කිහිපය සම්බන්ධයෙන් සලකා බලද්දී ශ්‍රී ලංකාව ලෝකයේ දුෂිත රටවල් අතර 95 වැනි ස්ථානය දක්වා පහළට වැටි ඇත.

උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිෂන් සභා වාර්තාව මගින් නිර්දේශ කරන ලද එක් වැදගත් කාරණාවක් වුවත්, දිනෙන් දින ම කල්දමන ලද වැදගත් නීතිමය තත්වයක් වන තොරතුරු දැනගැනීමේ මහජන අයිතිය සම්බන්ධ නීති සම්පාදනය වසර ගණනාවක් ඇදී ගොස් 2016 වසරේ දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් බහුතර ඡන්දයෙන් සම්මත කරගන්නා ලද්දේ ය.

තොරතුරු දැනගැනීම යනු කුමක්ද?
ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණ සහිත රටක පුරවැසියන් විසින් තෝරා පත්කර ගන්නා ලද නියෝජිත ආයතනය වන රජයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සොයා දැන ගැනීමේ නීත්‍යනුකූල අයිතිය එම රටේ පුරවැසියන් සතුව පැවතීම, දූෂණයට, වංචාවට, අසාධාරණයට වැට බැඳීමක් වනවා සේ ම රාජ්‍යයේ කාර්යක්ෂමතාවය ද වඩවන්නකි. විශේෂයෙන්ම ජනතා බදු මුදල් ආණ්ඩුව වියදම් කරන්නේ කෙසේද? යන්න පිළිබඳව පාරදෘෂ්‍යභාවයක් තිබීම සහ මූල්‍ය ගනුදෙනු, ටෙන්ඩර් පටිපාටි පිළිබඳව නිල තොරතුරු දැනගැනිමේ හා ලියවිලි පරීක්ෂා කිරීමේ අයිතිය පුරවැසියා සතුව පැවතීම රටට යහපතකි.
එමෙන්ම, ආණ්ඩුව විසින් ජනතාවට නොපමාව ඉටු කළ සේවාවන් රාශියක් පවතින අතර ඒවා සිදු නොවන්නේ නම්, සාධාරණය ඉෂ්ටකර ගැනීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් ද තිබිය යුතුය. උදාහරණයක් ලෙස, පුරවැසියන්ට අදාල රාජ්‍ය සේවාව, රාජ්‍ය නිලධාරීන් විසින් නිසි ලෙස ඉටු නොකරන ලද්දේ නම්, ඒවා කඩිනමින් ඉටුකර ගැනීම සඳහා අධිකරණයේ පිහිට පැතීමට නිත්‍යනුකූල හිමිකමක් ජනතාවට තිබිය යුතුය. එවැනි අවස්ථාවලදී රාජ්‍ය ආයතන වලින් නිල වශයෙන් තොරතුරු ලබා ගැනීමේ අවශ්‍යතාවය මතු වන අතර ඒ සඳහා ගත යුතු ක්‍රියා පටිපාටිය පිළිබඳව රටක නීතිය තුළ නිශ්චිතව සඳහන් විය යුතුය.
මෙම සමස්තය තොරතුරු දැනගැනීමේ අයිතිය ලෙස සරළව හැඳින්විය හැකි අතර මේ වන විට ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන ඇති මෙම අයිතිය ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක වෙමින් පවතී.
‘දූෂණය පිටු දැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය’ එක්සත් ජාතින්ගේ මහසභාව විසින් 2003 වසරේ දී රටවල් 140 ක අත්සන් සහිතව එකඟතාව පළකරන ලද ලියවිල්ලකි. මෙම සම්මුතියට ශ්‍රී ලංකාව ද අත්සන් තබා ඇති අතර, ඒ මගින් ද තොරතුරු අයිතිය, පාරදෘෂ්‍යභාවය, ඡන්ද අපේක්ෂකයන්ගේ අරමුදල් සම්බන්ධ විවෘතභාවය, රජයේ වියදම් සම්බන්ධ පාරදෘෂ්‍යභාවය තහවුරු කිරීමට බැඳී සිටියි.
 
තොරතුරු දැනගැනීමේ නීති සම්බන්ධ ඉතිහාසය
1766 වසරේ දී ස්විඩනයේ දී සම්මත කරගන්නා ලද පුවත්පත් නිදහස පිළිබඳ වන පනත ලෝක ඉතිහාසයේ තොරතුරු දැනගැනීමට අදාළ පළමු පියවර වශයෙන් සලකනු ලැබේ. තොරතුරු දැගනැගීම මහජනතාවගේ අයිතියක් වශයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් පිළිගන්නා ලද්දේ 1948 මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය හරහා ය. ඉන් අනතුරුව 1966 දී ප්‍රකාශනයට පත් කරනු ලැබූ Universal Declaration of Human Rights මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 19 වැනි වගන්තිය හරහා දේශසීමාවකින් තොරව තොරතුරු ලබාගැනීම සඳහා ඇති අයිතිය සම්බන්ධව ප්‍රකාශ කෙරිණි.
 

“Everyone has the right to freedom of opinion and expression; this right includes freedom to hold opinions without interference and to seek, receive and impart information and ideas through any media and regardless of frontiers.”


“අදහස් දැරීමේ සහ ප්‍රකාශ කිරීමේ අයිතිය සෑම අයෙකු ම සතු ය. බාධාවකින් තොරව සිය මතවාදය දැරීමේ නිදහසත්, දේශ සීමා බාධාවකින් තොරව කවරාකාර හෝ මාධ්‍යයකින් තොරතුරු ලබාගැනීම, බෙදාගැනීම සම්බන්ධ නිදහසත් මෙයට අදාළ වේ.”

මේ ප්‍රකාශය අනුව තොරතුරු දැනගැනීම, බෙදාහදා ගැනීම යනු මූලික මානව අයිතිවාසිකමක් බවට ජාත්‍යන්තර සම්මුතියක් ඇති කෙරුණි. මෙම ප්‍රකාශනය සඳහා ශ්‍රී ලංකාව ද අත්සන් තබා ඇත.

දකුණු ආසියා කලාපයේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම සම්බන්ධයෙන් පළමුවරට යෝජනා වූ රට ශ්‍රී ලංකාව වුවත්, 2003 වන විට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳව නීති සම්පාදනය නොවී පැවති එක ම රට වූයේ ද ශ්‍රී ලංකාව ය. වසර ගණනාවක් තිස්සේ, එනම් 1996 පටන් 2016 දක්වා ගත වූ දශක දෙකක කාලයක් ශ්‍රී ලංකාවේ තොරතුරු පනත කල් ගියේ ය.

එසේ වුවත් අසල්වැසි ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය වැනි රටවල පවා ඉහළ මට්ටමේ තොරතුරු දැනගැනීමේ නීති සම්පාදනය වී තිබුණි. මේ පසුබිම තුළ පුරවැසි අයිතිවාසිකමක් වශයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන මෙන් නොයෙක් අංශවලින් පැවති රජයන් වෙත බලපෑම් එල්ල වූ නමුත්, ඒ ගැන නොසලකා මෙන් කටයුතු කිරීම නිරන්තරයෙන් සිදු විය.

තොරතුරු නිදහස නොහොත් Freedom of Information යන තාක්ෂණික වදන මුලින් ම භාවිතයට පැමිණියේ 1940 දශකයේ දී පමණ ය. එක්සත් ජාතින්ගේ සංවිධානය මගින් 1946 දී බාධාවකින් තොරව තොරතුරු ගලායාමට සැලැස්වීම යන අදහසින් භාවිතයට ගන්නා ලද මෙම වදන පසුකාලීනව වඩාත් සංවර්ධනය වූයේ ය. එය රටක ජනතාවට වගකියනු ලබන පරිපාලනයක අත්‍යවශ්‍ය අංගයක් මෙන් ම, යහපාලනයේ මූලධර්මයක් වශයෙන් ද සම්මත කරගන්නා ලදී. මහජනයා විසින් පත්කරගනු ලැබූ රජයක ක්‍රියාපටිපාටි පිළිබඳව මහජනයා දැනුම්වත් විය යුතු අතර, ඒ සඳහා තොරතුරු නිදහස උපයෝගී කරගන්නා ලදී. බොහෝ රටවල් ඒ අයිතිවාසිකම තහවුරු කිරීම පිණිස පනත් මගින් නීති සම්මත කරගන්නා ලද්දේ ය. රාජ්‍ය පාලනයේ පවතින පාරදෘෂ්‍යභාවය තහවුරු කිරීම සඳහා මෙම සංකල්පය බෙහෙවින් ඵලදායී වේ. මුල්කාලීනව Freedom of Information හෙවත් තොරතුරු නිදහස යනුවෙන් හැඳින්වු මේ නීති වර්තමානයේ හඳුන්වන්නේ වඩාත් අර්ථපූර්ණ යෙදුමක් වන Right to access information held by public bodies හෙවත් මහජන ආයතනයන්ගේ  තොරතුරු ලබාගැනීමට ඇති පුරවැසි අයිතිය සහතික කිරීමේ නීති වශයෙනි.

ඉන්දියාවේ තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරගන්නා ලද්දේ 2005 දී වන නමුත්, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම සම්බන්ධයෙන් වන පිළිගැනීම 1975 දී පටන් පැවති බව පෙනේ. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිගන්නා ලද්දේ ‘විනිශ්චයකාරවරුන් මාරු කිරීම හා සේවයෙන් පහකිරීම්වලට අදාළ තොරතුරු සැපයීම ඉන්දියානු රජය මගින් ප්‍රතික්ෂේප කිරීම’ සම්බන්ධයෙන් වූ උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත රජය එදිරිව රාජ් නාරායන් නඩුවේ (1975)  තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 (1A) වගන්තියට අර්ථ නිරූපණයක් ලබාදෙමින් සඳහන් කරන ලද්දේ, එම වගන්තියේ දැක්වෙන ‘ප්‍රකාශනයේ හා භාෂණයේ නිදහස’ යන්න තුළට ‘දැනගැනීම පිළිබඳ’ අයිතිය ද ඇතුළත් වන බවයි. මෙම ඓතිහාසික නඩු තීන්දුවෙන් පසුව ‘තොරතුරු දැනගැනීමේ අයිතිය’ ඉන්දියාව තුළ පිළිගන්නා ලද බව පෙනේ. එය වැඩිදුරටත් පැහැදිලි කරමින්, මහජන යහපත සඳහා වන රහස්‍යභාවය නමැති ව්‍යතිරේකය ද එක් කෙරුණි.
ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 (1A) වගන්තියත්, ශ්‍රී ලංකාවේ දෙවැනි ජනරජ ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තියත් යටතේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස මූලික අයිතිවාසිකමක් වශයෙන් පනවා තිබේ. එසේ නම් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තිය සම්බන්ධයෙන් ද අදාළ කරගත හැකිය. එසේ නම්, තොරතුරු දැනගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්තියේ එන භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ප්‍රස්තුත කරගත හැකි වේ.


ඉන්දියාවේ තොරතුරු අයිතිය ව්‍යවස්ථා අර්ථ නිරූපණයක් මගින් පැහැදිලි කර දී තිබූ පසුබිමක, තොරතුරු දැනගැනීම පුරවැසි අයිතිවාසිකමක් බවට සඳහන් කරමින් තොරතුරු දැනගැනීමේ පනත ඉන්දීය පාර්ලිමේන්තුවේ සම්මත වූයේ 2005 වසරේ දී ය. තොරතුරු දැනගැනීම සම්බන්ධ පනත් සම්බන්ධයෙන් වන ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉන්දියාව පස්වැනි ස්ථානය ලබාගෙන සිටියි. එම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය ලබාගෙන සිටින මෙක්සිකෝවට ලකුණු 136 ක් හිමි වී ඇති අතර, ඉන්දියාවට ලකුණු 128 ක් හිමි ය. එම ශ්‍රේණිගත කිරීම් හි අවසානයට සිටින ඩොමිනික් සමූහාණ්ඩුවට හිමි ලකුණු ප්‍රමාණය 59 කි. මේ අනුව ඉන්දියාවේ තොරතුරු දැනගැනීමේ පනත ඉහළ ගුණාත්මක බවකින් යුක්ත බව පිළිගනු ලැබේ.
දැනුම්වත් පුරවැසියන් සමාජ ප්‍රගමනය සඳහා අවශ්‍ය බව එහි පූර්විකාවේ ම දක්වා ඇති අතර, ඉන්දියානු තොරතුරු පනතේ විශේෂත්වයක් වන්නේ ජනතාව විසින් ඉල්ලා සිටින තොරතුරු ලබාදීම ප්‍රමාද කිරීම, පැහැර හැරීම හෝ ව්‍යාජ තොරතුරු ලබාදීම සිදුකරන නිළධාරීන්ගෙන් අය කරගත යුතු දඩ මුදල පැහැදිලිව සඳහන් වීම යි. එමෙන්ම ඉන්දීය තොරතුරු පනත අනුව තොරතුරු ඉල්ලා සිටිනු ලබන කාරණය හෙළි කිරීමට පුරවැසියන් බැඳී නැත. සෑම රාජ්‍ය ආයතනයක ම තොරතුරු නිළධාරියෙකු පත් කරනු ලැබ සිටිම ද ඉන්දීය තොරතුරු පනතේ පවතින විශේෂතාවයන් ය.

යට කී අර්ථ නිරූපණය අනුව 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ “14අ ව්‍යවස්ථාව මගින් තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ අයිතිය තහවුරු කර ඇති බැවින්, සහ තොරතුරු ලබා ගැනීමේ අයිතිවාසිකම බලාත්මක කිරීම මගින් පොදු අධිකාරිවල විනිවිදභාවය සහ වගකීම පිළිබඳ සංස්කෘතියක් පෝෂණය කිරීමේ අවශ්‍යතාවක් පැන නැගී ඇති බැවින් ද, එමගින් ශ්‍රී ලංකාවේ මහජනතාවට යහපාලනය සඳහා වැඩි වශයෙන් සහභාගි විය හැකි සහ රටේ පොදු ජන ජීවිතයේ දී සක්‍රීය ලෙස සහභාගි විය හැකි සමාජයක් ප්‍රවර්ධනය වන බැවින් ද; ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ” යනුවෙන් ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනත සදහන් කරයි.
ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනතේ පළමුවැනි කොටස සම්බන්ධව සලකා බලමු.

“I වන කොටස
පනතේ විධිවිධාන අදාළ වීම
3. (1) මේ පනතේ 5 වන වගන්තියේ විධිවිධානවලට යටත්ව, පොදු අධිකාරියක සන්තකයේ, භාරයේ හෝ පාලනයේ ඇති තොරතුරුවලට ප්‍රවේශ වීමේ අයිතිවාසිකම සෑම පුරවැසියකුට ම තිබිය යුතු ය.
(2) මෙම පනතේ විධිවිධාන පාර්ලිමේන්තු බලතල, වරප්‍රසාද සහ පරිචයන් හීන කරනු නොලබන්නේ ය.
4. වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවලට පටහැනිව කුමක් සඳහන්ව ඇත ද, මේ පනතේ විධිවිධාන බලාත්මක විය යුතු අතර, ඒ අනුව මේ පනතේ විධිවිධාන සහ වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධාන අතර අනනුකූලතාවයක් හෝ ගැටීමක් ඇති අවස්ථාවක, මේ පනතේ විධිවිධාන බලාත්මක විය යුතු ය.”


මෙහි 4 වැනි වගන්තියේ එන කරුණ මේ පනත සම්බන්ධයෙන් අතිශයින් ම වැදගත් ය. 3 වැනි වගන්තියෙන් තහවුරු කරනු ලබන තොරතුරු දැනගැනීම සදහා සෑම පුරවැසියෙකු ම සතු අයිතිවාසිකම 4 වැනි වගන්තියෙන් තවදුරටත් තහවුරු කර ඇත. එනම් මේ පනතේ එන කිසියම් විධි විධානයක් වෙනත් කිසියම් නීතියක් සමග ගැටෙන අවස්ථාවක බලාත්මක විය යුත්තේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද පනතේ එන විධිවිධානයන් බව දැක්වීම හරහා ය. මෙය ඇත්ත වශයෙන් ම තොරතුරු දැනගැනීමේ අයිතියට වෙනත් කිසිඳු නීතියකින් බාධාවක් නොකෙරෙන බවට වන සහතිකයකි. 

 

To be contd...